පසුගිය වසර කිහිපය තුළ තැනැත්තන් වෙළඳාල ( මිනිස් ජාවාරම ) සම්බන්ධයෙන් අවදානම් කලාපයේ සිටි අපේ රට අද එහි දෙවන පියවර දක්වා උසස් තත්වයය පත් කර තිබීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බව ඇමතිනී තලතා අතුකෝරාළ පැවසීය. අධිකරණ හා විදේශ රැකියා ඇමතිනිය මෙසේ ප්‍රකාශ කළේ 'තැනැත්තන් වෙළඳාම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරිමේ ව්‍යාපාරය' නිල වශයෙන් දියත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (06) අධිකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය වසර අටක්, දහයක් පමණ කාලය තුළ ශ්‍රී ලංකාව මිනිස් ජාවාරම සම්බන්ධ ප්‍රශ්න රැසකට මුහුණ දී සිටි බව ප්‍රකාශ කළ ඇමතිනිය පසුගිය වසරේදී අධිකරණ අමාත්‍යාංශය යටතේ මිනිස් ජාවාරම සම්බන්ධ කාර්ය සාධක බලකාය ඇතුළු සියළු ආයතන සමඟ එක්ව එම තත්වයෙන් මිදීමට හැකි වූ බවත් ප්‍රකාශ කළාය. ඒ සඳහා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේද නීති රීති දැඩි කිරීම, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා දැනුවත් කිරීම, විදේශ රැකියා සඳහා යවන ශ්‍රමිකයින්ගේ පුහුණුව විධිමත් කිරීම ඇතුළු කාර්යයන් රාශියක් කළ බවද ඇය සඳහන් කළාය.
මේ සියළු උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතීන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව දෙවන පෙළ සෝදිසි ලැයිස්තුවේ සිට දෙවන පෙළ දක්වා උසස් කර ඇති බව පැවසූ ඇමතිනිය ශ්‍රී ලංකාව දෙවන පෙළ ලැයිස්තුවේ දිගටම පැවතුනා නම් රටට විවිධ සම්බාධක පැනවීමේ අවදානමක් ද තිබුණු බව හෙළි කළාය. එහෙයින් එම තත්වයෙන් නිදහස් වීම නිසා අපේ රටට ජාත්‍යන්තර වශයෙන් වාසි රැසක් ම හිමි වී ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය. විශේෂයෙන් ම අවදානම් කලාපයෙන් ඉවත්වීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් ණය ලබා ගැනීම, වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම සහ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර රැසක ප්‍රගතියට එය හේතුවන බව ඇමතිනිය පෙන්වා දුන්නාය.
එසේම මෙම දෙවන පෙළ මට්ටමට ළඟා වීම සඳහා අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති කාර්ය සාධක බලකාය සහ ඕස්ට්‍රේලියානු රජය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ලබා දුන් සහයෝගය අගය කළ ඇමතිනිය අප දෙවන පියවරේ සිට තවත් ඉදිරියට යාම සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කළාය.
No comments:
Post a Comment