මහින්ද ශිරන්තිගේ උපදෙස් පිට 2025 සැරසෙයි - ශ්‍රීලනිප හා පොහොට්ටුවේ 2019 ජනපති අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන - sinhalanewsweb.com
AD HERE

Post Top Ad

AD HERE

recent posts

Join Us On Facebook

Please Wait 10 Seconds...!!!Skip

මහින්ද ශිරන්තිගේ උපදෙස් පිට 2025 සැරසෙයි - ශ්‍රීලනිප හා පොහොට්ටුවේ 2019 ජනපති අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන

Share This


දේශපාලනය තුළ සදාකාලික මිතුරන් හෝ හතුන් සිටිය නොහැකියි යන්නට අලුත්ම පූර්වාදර්ශය මේ වන විට මෛත්‍රි-මහින්ද සුසංයෝගයෙන් පසක් කර ඇත. එකි නෙකාට විරුද්ධව සටන් පෙරමුණු ගොඩනගමින් සිටි මහින්ද හා සිරිසේන දැන් ගජ මිතුරන්ය... ඒ මිතුරු කම කොතෙක් ද යත්, මහින්දට තම සහෝදරයින් තිදේනා වන චමල්, බැසිල් හා ඝෝඨාභයටත් වඩා දැන් ජනපති සිරිසේන විශ්වාස වන්තය.
2019 මාර්තු වන විට ජනපතිවරණයක් පැවැත්වීමට සිරිසේන ජනපති එකඟ කර ගැනීමට මහින්ද කටයුතු කර ඇත.
මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 08 දින සිට සිය දේශපාලන ගමන නැවත ආරම්භ කළේ සහෝදරයින් සමගය. ඒ අතරින්ද ඝෝඨාභය හා බැසිල් විශේෂත්වයක් ගනී. පසුගිය පළාත් පාලන මැතිවරණය ජයගන්නට ඝොඨාභය භාවිත කළේ නියත වශයෙන්ම මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඝොඨාභය ලෙස ජනතාවට අඟවමින්ය. ඇතැම් විට මහින්ද රාජපක්ෂටත් වඩා ඝෝඨාභයට ආදරය කරන ශ්‍රීලනීප හා පොහොට්ටු සමාජිකයින් සිටී.
එසේම, මහින්ද පාර්ශවයේ මහ මොළකරු ලෙස බැසිල් ජනතාව අතර ගෞරවයක් දිනාගෙන ඇත. ඒ මුවාවෙන් බැසිල් මීළඟ ජනපති අපේක්ෂකයා ලෙස නම් කරන බව ද මහින්ද සමහර අවස්ථාවන්හිදී අඟවන ලදී.
ඒ අනුව, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ බැසිල් හා ඝෝඨාභය ඉතා හොඳින් අලෙවි කරමින් සිය ජන පදනම ජය ගත්තේය. නමුත් පසුගිය ඔක්තොම්බර් 26 දින හොර පාරෙන් ඝෝඨාභය හෝ බැසිල් ද එතරම් එකඟ නොවු පරිසරයකදී මහින්ද මෛත්‍රි සමඟ එකතු විය.
මේ වන විට මෛත්‍රි - මහින්ද දෙදෙනාගේම ජන පදනම දෙදරා ගොස් ඇත. දින 50 ක අසාර්තක අනීතික පාලනය ඒ සඳහා මඟ විවර කළේය. අද වන විට පොහොට්ටුව හා ශ්‍රිලනිපය යන පක්ෂ දෙකම දැඩි අර්බුදයකට පත්ව ඇත.
පසුගිය දිනෙක පොහොට්ටුවේ මන්ත්‍රි කණ්ඩායම රැස්වු විට විමල් හා ගම්මන්පිළ හොඳටම බැණුම් ඇහැව්වේය. මහින්ද කළ ඇතැම් ක්‍රියාවන් ගැන ද විවේචන එල්ල විය. ඒ අනුව, නිශ්චිත එකඟතාවයකින් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීම එකි නෙකා අතර විරසක කම් සහිතව නිමා විය.
ඊයේ (24) දින ශ්‍රීලනීප මධ්‍යම කාරක සභාව රැස්විය. සුළු මොහොතකින් ජනපති විදේශගත වන බව පවසා පිටව ගියේය. මුලසුනට පැමිණි එස්.බීගේ පතුරු යන තුරු මන්ත්‍රිවරුන් පිරිසක් බැණ වැදුනේය. මැද්දට පැන්න දායාසිරිටද පිරිස බැණ වැදුණේය. අවසානයේ ශ්‍රීලනිප මහ ලේකම් රෝහණ පියදාස මහතාට පහර දීමට ද මන්ත්‍රි කණ්ඩායම කටයුතු කළේය. මෙවැනි පසුබිම ශ්‍රීලනීප මන්ත්‍රි කන්ඩායම ද විරසකව පිටව යන ලදී.
දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන අන්දමට පක්ෂ දෙකේම අභ්‍යන්තර ගැටුම උත්සන්න වීමට එකම හේතුව මහින්ද මෛත්‍රි ඩීල් ගේම් එක බව පැවසේ. මොකක් ද මේ ඩීල් එක.
මහින්දට කෙසේ හෝ අගමැතිකම අවශ්‍යමයි... සිරිසේනට කෙසේ හෝ  ජනපතිකම අවශ්‍යමයි. දෙදෙනාගේම තනතුරු දෙක රැක ගැනීම ඩීල් එක ලෙස පෙන්වා දිය හැක.
ජනපති මුලින්ම කළේ රනිල්ගෙන් 2020 ජනපති අපේක්ෂක කම ඉල්ලා සිටිමය. රනිල් එය බෑ කියු තැන මහින්දගෙන් ඒ පිළිබඳව විමසන ලදී. මහින්ද එක පයින්ම ඊට කැමති විය. ඒ අනුව ඔක්තොම්බර් 26 හොර පාරෙන් මහින්ද අගමැති කරවිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින ජනතාව, අධිකරණය හා මන්ත්‍රිවරුන් එක්ව දෙදෙනාම එක මිටට තබා පරාජය කළේය.
යළි වැරදුනු තැනින් සිරිසේන හා මහින්ද දෙදෙනාම ගොඩයන්නට උත්සහ දරයි. මහින්දට කෙසේ හෝ අගමැති වීමට ඇති කෙටිම මාර්ගය යළි මෛත්‍රි ජනපති කරවීමයි.. ඒ අනුව, පළාත් පාලන මැතිවරණයේදී ඝෝඨාභය හා බැසිල් භාවිත කරමින් ගොඩ නැගූ ජන පදනම කිසිඳු ජන පදනමක් නැති මෛත්‍රිපාල සිරිසේනට දන් දෙන්නට තරම් මහින්ද වෙස්සන්තර වී ඇත.
සිරිසේන ජනපති 2015 ජනවාරි 08 ජනපති වුයේ රනිල්, මාදුළුවවේ සෝභිත හිමි, සරත් ෆොන්සේකා, චන්ද්‍රිකා වැනි අය භාවිත කරමින්ය. සිරිසේන ඒ  හැට දෙලක්ෂක ජන පදනම මහ දවල් මහින්දට විකුණුවේ සිරිසේනගේ පවුලේ උදවියටවත් නොදැනෙන ලෙසය.
ඒ අතින් සිරිසේන හා මහින්ද යන දෙදෙනාම සිය ජන පදනම ගොඩනඟාගන්නට උත්සහ යොදාගත්, දර දිය අදින ලද සියළුම දෙනා හොද්දට දාන රම්පේ කරපිංචා තියරියෙන් ඉවත් කර ඇත. දෙදෙනාම නොදන්නා දෙය නම් ඕනෑ තරම් රම්පේ කරපිංචා කැලෑවේ ඇති බවය. ජනතාවට අලුත් හොද්දක් හඳන්නට එතරම් අපහසු නොවේ.
මහින්දට මේ මොහොතේ ඝෝඨාභය හෝ බැසිල් ජනපති අපේක්ෂකයා කරන්නට නොහැකි හේතුවක් ඇත. ඒ දෙදෙනාම ඇමරිකන් පුරවැසිකම දැරිමයි... එසේ නම් පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ජනතාවට පැවසු බොරුව කුමක්ද. ඝෝඨාභයට හෝ බැසිල්ට මීළඟ ජනපති අපේක්ෂකයා වීමට සැබෑ අවශ්‍ය තාවයක් තිබුණා නම් මාගේ මතයේ හා විශ්වාසයේ හැටියට 2018 ජනවාරි 08 දිනම ඇමරිකානු පුරවැසි භාවය අතැර ලංකාවට පැමිණිය යුතුය. එසේ වුවා නම් මේ වන විට දේශපාලන කරලිය වෙනස්ය.
නමුත් ඝෝඨාභය හෝ බැසිල් එසේ කළේ නැත. එසේ කිරිමට මහින්ද උපදෙස් දුන්නේද නැත. දැන් මහින්ද කියන්නේද මල්ලිලා ඇමරිකන් පුරවැසි නිසා ශ්‍රී ලංකාවේ ජනපති අපේක්ෂකයා විමට නොහැකි බවය. එය තාම ප්‍රසිද්ධ වේදිකාවේ මහින්ද නොකියන ලද රහසකි.  මහින්දට අවශ්‍ය වුයේ පළාත් පාලන මැතිවරණයේදී ඝෝඨාභය හා බැසිල් ව විකිණිම පමණි.
චමල් රජපක්ෂ යනු මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන භුමිකාවටත් වඩා ඔබ්බට ගිය චරිතයකි. රාජපක්ෂ පවුලේ ලොකු දේශපාලන අයියා චමල්ය. අනිකුත් සහෝදරයින්ට සාපේක්ෂව තමන්ට නඩු දා නොගත් අයෙකි. මහින්දට චමල්ව ජනපති අපේක්ෂකයා කිරීම ඉතා පහසු දෙයකි. එසේ නොකරයි.. ඒ ගැන කිසිඳු කථාවක් නැත. හේතුව චමල් රාජපක්ෂ මහතාගෙන් පසුව සිහසුන ශෂින්ද්‍ර රාජපක්ෂ වෙත යාම වළක්වා ගැනීම මහින්දට අසිරුය.
මහින්ද 2019 මාර්තු මාසයේදී සිරිසේන ජනපති සමඟ යන්නට යන ගමන දැන් පැහැදිළිය. හොඳ හොඳ සෙලළම් එළි වෙන ජාමෙට. එතනදි තමයි මහින්ගේ මීළඟ සැබෑ අනුප්‍රාප්තිකයා කළ එළි දකින්නේ.
සිය ජ්‍යෙෂඨ පුත් නාමල් රාජපක්ෂගේ 2025 ජනපති සිහිනය ශිරන්ති හා මහින්ද දෙදෙනාම දෑසින්ම දැක ගැනීමේ නොතිත් අශාව පෙරදැරිව මේ සියල්ල ගොඩනැගෙමින් පවති.
ව්‍යවස්ථාවට අනුව, සිරිසේන ජනපතිවරයාට ඇත්තේ තවත් එක් වාරයකි. 2020 ජනපතිවරණයට තවත් වසරක් තිබිය දී 2019 මාර්තු වන විට ජනපති සිරිසේන නැවත ජනපතිවරණයකට සූදානම් වන්නේ මහින්ද සමග ඇති මේ ඩීල් එක නිසාය. 2025 දක්වා මෛත්‍රි ජනපති කම් දරණ විට ඒ වාසිය ගෙන මහ මැතිවරණයකට යන මහින්ද ඊළඟ අගමැතිවීමට සිහින දකියි.
එපමණක් නොව, ජනපති සිරිසේන, අගමැති මහින්ද යටතේ රජයේ ප්‍රබල අමාත්‍යාංශයක ප්‍රමුඛ අමාත්‍යධුරයක් ලබා ගන්නා නාමල් රාජපක්ෂ එම ආණ්ඩුව හතර මායිමට බැසිල් හෝ ඝෝඨාභය ගාව ගන්නේ නැතිව මහින්ද - නාමල් අධ්‍යක්ෂණයෙන් සියල්ල සැලසුම් කරනු ඇත. එදාට බැසිල්ලා හා ඝෝඨාභයලා ද සිය දේශපාලන අයිතීන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරකින මහ ජනපවුර වටා නිර්ලෝභිව එක්වනු ඇත.
ඒ අනුව, 2025 වන නාමල් රාජපක්ෂ විවාහ වී දරු සුරතල් බලන පියකු ලෙස ජනපතිවරණයට ප්‍රවිශ්ඨවේ. ඒ සියල්ල මහින්ද-නාමල් සැලසුම් කර ඇත. 2025 දී විස්තෘත මහින්ද රාජපක්ෂ සහෝදර සමාගම වෙනුවට, න්‍යාෂ්ඨික රාජපක්ෂ පවුල වටා ශ්‍රී ලාංකීය දේශපාලන වංශකථාව ගොනු කරවනු ඇත.
ජනපති සිරිසේන හා මහින්ද විසින් ගෙන යන මේ ප්‍රොඩාකාරි වැඩ සටහන කෙළවර වන්නේ 2025දීය. 2025ට තවත් වසර 07ක් ඇත. එම වසර 07 තුළ සිරිසේන-මහින්ද දේශපාලන කුණාටුව දිග හැරුනහොත් එය අප රට තවත් දසක කිහිපයකින් ආපස්සට යන ක්‍රියාවකි.
සිය බල ව්‍යප්තිය සඳහා මහින්ද රාජපක්ෂ තවදුරටත් බුදුදහමේ එකම මුර දේවතාවා ලෙස පෙනි සිටිනු ඇත. සිංහල ජනතාවගේ එකම ගැළවුම් කරුවා ලෙස පෙනි සිටිනු ඇත. එසේම බටහිර රටවල් ඇලජික් ලෙස කටයුතු කරනු ඇත.
බෞද්ධ භික්ෂුන් වහන්සේලා, රාවන බලය, දූෂණ විරෝධි පෙරමුණ, බොදුබල සේනාව සහ මිත්‍යා දෘෂ්ඨික යාග හෝම වැනි  දැනටමත් ගොඩනංවා ඇති බලවේග පංච මහා බලවේග ලෙස තවදුරටත් සන්නද්ධ කරනු ඇත.
එක් පවුලක දේශපාලන බල සංකේන්ද්‍රණයක් සඳහා මුළු රටක අනාගතය පවා දිය යුතුද? නව ලොව දිනන දේශපාලන සන්දර්භයක් අපි දැයට දායාද කළ යුතු නොවේද?
සමස්ත ජනතාව, පාර්ලිමේන්තුව නියෝජනය කරන පවුල්වාදී දේශපාලනයට විරුද්ධ සියළුම මන්ත්‍රිවරුන්, සුළු ජාතික පක්ෂ පමණක් නොව සිවිල් සංවිධාන මේ කටුක යතාර්ථය තේරුම් ගත යුතුව ඇත.
ජනතාවට සැබෑ  ලෙස අරගල ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, බලයට කෑදර අමන පවුල්වාදී දේශපාලකයින් පන්නා දැමිමටයි. වෘත්තිකයින් ද සිය අරගල දියත් කළ යුත්තේ ඒ සඳහාම පමණි. සමස්ත බලවේග අත්වැල් බැඳගත යුත්තේ මිතුරු වෙසින් සිටින පොදු හතුරන් පන්නා දැමිමටය.
එසේ නොවුන හොත් මේ සරුසාර රට අමන දේශපාලකයින්ට හා ඒ අය වන්දනා මාන කරන ජනතාවටම භාර කර බුද්ධිමතුන් සිය නිදහස සොයා රටින් නික්ම යනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

AD HERE

Pages