25 වන දින අමරපුර නිකායේ සාමනේරයන් වහන්සේලා 300 නමක් උපසම්පදාව ලබා ගන්නවා. අමරපුර නිකායේ ඉතිහාසය මම විශේෂයෙන් කිව යුතු නැහැ. අතීතයේදී පහත රට බෞද්ධ ප්‍රබෝධයට රුකුලක් ලෙස අමරපුර නිකාය කටයුතු කළා. 19වන ශත වර්ෂයේ බෞද්ධ ප්‍රබෝධය සදහා අමරපුර නිකාය කටයුතු කළා. එය අප කවුරුත් අමතක නොකළ යුතුයි. අමරපුර නිකායේ එම ගෞරවය ආරක්ෂා කර ගනිමින් අප ඉදිරියටයා යුතුයි. පුජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස හිමියන් අමරපුර නිකායේ නව මහා නායක ලෙස සහභාගි වන මෙම පළමු උත්සවයේදී මම උන් වහන්සේට සුභ ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
මම මහා නායක ස්වාමීන් වහන්සේ සමඟ දශක ගණනාවක් තිස්සේ ආශ්‍රය කරනවා. අපි බෞද්ධ කටයුතු ජාතික කටයුතු ආදී වැඩ කටයුතු ගණනාවක් පිළිබදව සාකච්ඡා කර තිබෙනවා. එමනිසා මෙම අමරපුර නිකාය උන්වහන්සේගේ නායකත්වයෙන් තවත් ඉදිරියට දියුණු වේවා කියා මම සුභ පතනවා.
මෙහි පැමිණෙන විට මට එක් සිද්ධියක් මතකයට නැගුණා. පසුගිය දිනක මා නිව්යෝක් නගරයේ සිටින විට මගේ මිත්‍රයෙකු මා හමුවීමට පැමිණියා. අබලන් වී ගිය පැරණි පල්ලියක ගොඩනැගිල්ලක් ඔහු මිලදී ගත් බවත් එය දැන් බෞද්ධ කටයුතු, ධර්ම දේශනා ආදිය සදහා යොදවන බවත් එහිදී ඔහු පැවසුවා. එවිට අවශ්‍ය කරන මුදල් සොයා ගත්තේ කෙසේදැයි මා විමසුවා. මා දන්නා තරමින් එම ප්‍රදේශයේ එතුමාත් ඇතුළුව තව එක් ශ්‍රී ලාංකිකයෙක් පමණයි ජීවත්ව සිටියේ. නමුත් එම ප්‍රදේශයේ සියල්ලන් එකට එක්වී අවශ්‍ය මුදල සොයා දුන් බව ඔහු පැවසුවා. නගරයේ ජීවත් වන බෞද්ධ නොවන සුදු මිනිසුන්ගේ එකතුවෙන් එම මුදල් සොයා දුන්නේ දැයි මා විමසුවා. එවිට එම නගරයේ බොහෝ පුද්ගලයන්ට බුද්ධ ධර්මය පිළිබද අවබෝධයක් ඇති බවත් අනෙක් පුද්ගලයන් බුද්ධ ධර්මය පිළිබදව දැනගැනීමට කැමැත්තක් දක්වන බවත් මීට පෙර ධර්ම දේශනාවකට සංඝයා වහන්සේ වැඩම කළ අවස්ථාවකදී ඔවුන්ද ඊට සහභාගි වූ බවත් ඔහු මා සමග පැවසුවා.
එමෙන්ම මෙම පැරණි පල්ලියේ ශාලාව බෞද්ධ ධර්ම දේශනා සදහාත් අනෙකුත් වැඩ කටයුතු සදහාත් ගැලපෙනම ස්ථානය බව ඔවුන් සියල්ලන්ගේම එකතුවෙන් තීරණය කර තිබෙනවා. එය එම ප්‍රදේශයේ සමස්ත ප්‍රජාව විසින් එකමුතුව ගත් තීරණයක්. අද ලෝකයේ බුදු දහම පිළිබදව අළුත් උනන්දුවක් ඇති වී තිබෙනවා. වෙනත් භක්තිකයන් වුවත් මේ ධර්මය කුමක්ද, බුදුන් වහන්සේ යනු කවුද ආදිය පිළිබදව දැන ගැනීමට කැමැත්තක් දක්වනවා.
ඇමෙරිකානු ජනතාව පළමුවෙන්ම බෞද්ධ ධර්මය පිළිබදව දැන ගත්තේ චීනය, කොරියාව ආදී මහායන බෞද්ධ ධර්මය ඇති රටවල් හරහායි. අප ශ්‍රී ලංකාවේදී ඕල්කට් මැතිතුමා පිළිබදව කරුණු අධ්‍යයනය කළත් ඉන් බොහෝ දෙනෙක් චීනය, ජපානය, කොරියාව, තායිවානය ආදි රටවල් සමගත් සම්බන්ධතා පවත්වා තිබුණා. ඉන් ඇතැම් අය වියට්නාමයටත් ඇතමුන් කාම්බෝජියාවටත් පැමිණියා. අද ලෝකයේ විශ්ව විද්‍යාල තුළ ආසියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව බෞද්ධ ධර්මය ආදිය පිළිබදව පාඨමාලා ද පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ඇතිව තිබෙනවා. එය පුදුමයට කරුණක්. බටහිර ලෝකය වර්තමානයේ තරම් දියුණුව පැවති යුගයක් තවත් නැහැ. තාක්ෂණයෙන්, තොරතුරු තාක්ෂණයෙන් ආදි සියල්ලන්ගෙන් බටහිර ලෝකය ඉදිරියෙන් පසුවනවා. මේ වනවිට ඔවුන් මනස කුමක්දැයි දියුණු යන්ත්‍ර යොදාගෙන පරීක්ෂණ පවා සිදු කරනවා.
මීට පෙර නොතිබූ ධනයක් බටහිර ලෝකය තුළ වර්තමානයේ තිබෙනවා. එය ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල සිදුවෙනවා. නමුත් මේ වනවිට ඇතැම් අයට ලෞකික ජීවිතය පිළිබද ගැටළු මතුවී තිබෙනවා. බලවත් රාජ්‍යයන් ලෙස යුද්ධ කිරීමේ අවසානය කුමක්ද, ලෞකික සැප සම්පත්වල අවසානය කුමක්ද, එවැනි ගැටළු ඔවුන්ට මතුව තිබෙනවා. මීට විකල්පය කුමක්දැයි ඔවුන් කල්පනා කරනවා. බුද්ධ ධර්මය පිළිබද ක්‍රමානුකූල නැඹුරුවක් ඇතිවන්නේ එවිටයි. එංගලන්තයේත් මේ වන විට බෞද්ධාගමිකයන් විශාල වශයෙන් සිටිනවා. එහි විහාරස්ථාන පාලනය වන්නේත් ඉංග්‍රිසි බෞද්ධයන්ගේ සහයෝගයෙන්. බුද්ධ ධර්මයට වැඩි වශයෙන් නැඹුරු වන්නේ ජර්මන් ජාතිකයන්.
වර්තමානයේ දී ඔවුන් වැඩි වශයෙන් ථෙරවාදී බුද්ධ ධර්මය පිළිබද අවධානය යොමු කරනවා. බුද්ධ ධර්මය පිළිබදව පුවත්පත් සඟරා ආදියෙන් දැනුම ලබාගන්නවා. බුද්ධ ධර්මය තුළ තණ්හාව, වෛරය, ක්‍රෝධය, හිංසාව, ප්‍රචන්ඩ ක්‍රියා ආදිය ප්‍රතික්ෂේප කරනවා. ඒ දර්ශනය බටහිර ලෝකය තුළ අවධානයට ලක්වී තිබෙනවා.
අපට මේ අවස්ථාවේ සිදු කිරීමට තිබෙන්නේ මේ ධර්මය තව දුරටත් පැතිරවීමයි. එවිට ඇතැම් පිරිස් බුද්ධ ධර්මය වැළඳ ගනිවි, ඇතැම් අය ධර්ම දේශනා ආදියට සහභාගි වී දැනුම ලබා ගනිවි. කෙසේ හෝ බුද්ධ ධර්මය පැතිරීවීමට ඉඩ සැලසීමට අප කටයුතු කළ යුතුයි. බෞද්ධ පොත් පත් ඉංගි්‍රසි භාෂාවෙන් වැඩි වශයෙන් ලියවී ඇත්තේ තායිලන්තයේයි. ඉන් දෙවැනි තැන හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි. අපි ඒ තත්වය තවත් දියුණු කළ යුතුයි.
ඇතැම් විදේශිකයන් වෙහෙර විහාරස්ථාන වෙත ගොස් මල් පහන් පුජා කරනවා. ඇතැමුන් ඊට වඩා ගැඹුරින් බෞද්ධ ධර්මය අධ්‍යයනය කිරීමට මෙහි පැමිණෙනවා. එමනිසා අද මෙලෙස උපසම්පදා ලබන ස්වාමීන් වහන්සේලාත් ඇතුළුව අප සියළු දෙනාම එම තත්වය වර්ධනය කර ගැනීමට කටයුතු කළයුතුයි. ඒ සඳහා විදේශ භාෂා පිළිබද දැනුම අත්‍යවශ්‍යයි. බුද්ධ ධර්මය නොමැති රටවල ජනතාවට බුද්ධ ධර්මය පිළිබදව සාමාන්‍ය අවබෝධයක් ලබා දීමට නම් විදේශ භාෂා පිළිබද දැනුම අවශ්‍ය වෙනවා.
පසුගියදා අප ජාත්‍යන්තර වෙසක් සමුළුව සාර්ථකව පැවැත්වුවා. බෞද්ධාගමික රටක් ලෙස ඉන් අපට විශාල කීර්තියක් ප්‍රසිද්ධියක් හිමි වුණා. එවැනි දේ සිදු කරන අතර තුර අප විශේෂයෙන් බුදු දහම ආරක්ෂා කළ යුතුයි. බුදු දහම පිළිබද වැරදි මත ඇතිවීමට ඉඩ නොදිය යුතුයි. පැවිදි හෝ ගිහි වේවා අප භාවිතා කරන වචනවලින් හෝ ක්‍රියාවෙන් බුදු දහම අන්තවාදී දහමක් බව ඔප්පු වීමට ඉඩ නොදිය යුතුයි. අන්තවාදයට බුද්ධ ධර්මය තුල ඉඩක් නැහැ. බුද්ධ ධර්මය තුළ පමණක් නොව කිසිදු ආගමක් තුල අන්තවාදයට ඉඩක් නැහැ. නමුත් ඇතැම් ආගම් තුලට අන්තවාදය පැතිරීමෙන් සිදුව ඇති හානිය අප දැක තිබෙනවා. බටහිර ලෝකයේත් බුදු දහම පිළිබද උනන්දුවක් ඇති මේ අවස්ථාවේ අප අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතුයි.
No comments:
Post a Comment